Sep 28, 2012

ටකරං.......




     වැඩි සද්ද බද්ද නැති එකා උනාට ඉඳල ඉඳල කෙරුවොත් කරන්නෙ කාලාන්තරයක් මතක හිටින අන්දොස් වැඩක්. වෙන කවුරුවත් නෙවෙයි මං. 


     මේකත් ඒ වගේ සීන් එකක්. ඉස්සර මං පට්ට මත්ද්‍රව්‍ය විරෝධියා. එකෙන්ම අමද්‍යප. ඒ ඉතිං ඕලෙවල් කාලෙ අන්තිම හරිය වෙනකං විතරයි. එතනින් එහාට සියල්ල මද පමණට. දුම නං දුම. අඩිය නං අඩිය. වෙන ඒව නං එහෙම.


     කලින් ලිපියකින් කියල තිබුනනෙ මං ඒලෙවල් වලට මොනවද කලේ කියල. ආර්ට් නෙ කලේ. ඒ කාලෙ ඉතිං ඉස්කෝලෙ යන්නෙ ඉගෙන ගන්නම විතරක් නෙවෙයි නෙ. ගෙදරින් ගෙනියන බත් එක යාළුවොත් එක්ක පොරකාගෙන එහෙන් මෙහෙන් රිංගල කන්න, පන්තියෙ මුල්ලෙම තියන ඩෙස්ක් එක ළඟ වටවෙලා මියුසිකල් ෂෝ එකක් තියන්න, පන්තියෙ ඉගැන්නුවත් නැතත් එලියට පැනල ඇවිදින්න, කැන්ටින් එකට මූල්‍ය ආධාර දෙන්න, ඔය සේරම අතරෙ දවසටම තප්පර කීපයක් විතරක් හරි දැකගන්න පෙරුම් පුරන ඇස් දෙකක් බලාගන්නත් අමතක කරන්නෙ නෑමයි.

     ඔහොම ඉන්න අපිට මුළු දවසම ෆ්‍රී වෙන දවසක් සෙට් වෙන්නෙ බොහොම කලාතුරකින්. එහෙනම් ඉතිං ස්පෝර්ට් මීට් වෙන්න ඕන. නැත්නම් මොකක් හරි ඩේ එකක්. ප්‍රිෆෙක්ට් ඩේ, කොමස් ඩේ, ආර්ට් ඩේ. ඕව තමයි.

     ඒලෙවල් දෙවනි අවුරුද්ද ගෙවෙන අතරෙ ඔන්න ආව සයන්ස් ඩේ එක. අපි ඉතිං සයන්ස් නෙවෙයි නෙ. ඒ උනාට එදාට අපිට ෆ්‍රී. මොකද ගුරුවරු ගොඩක් අය යනවනෙ ඕක බලන්න.

     දැන් ඉතිං අපේ සෙට් එක කතා වෙනව එදාට මොකද කරන්නෙ කියල. සෙට් එක කිව්වට පහයි, හයයි ඉන්නෙ. තඩියා, වැලයා, චව්, වටයා, මලා, අග හිඟ. ඔන්න සෙට් එක. තඩියා කියන්නෙ ඌ මහත නිසා. වැලයා කියන්නෙ ඌ වැල සයිඩ් එකට බර නිසා. චව් තමයි ජෝකර්. වටයා කියන්නෙ උගෙ වාසගමේ කෑල්ලක්. මූඩ් එක අහිංසක හින්ද මලා. අග හිඟ කියන්නෙ මුස්ලිම් එකාට. දන්නෝ දනිති.

     දැන් කට්ටියගෙ ප්ලෑන්ස් ඉදිරිපත් කරනව සයන්ස් ඩේ එකට මොකද කරන්නෙ කියල. 

බොමුද මචං ? ...

ඒක හරියන්නෑ බං. ගඳ එනව නෙ. අනිවා නෝන්ඩි වෙනව. ....


එහෙනං සෙට් වෙලා එදාට ට්‍රිපක් යමං.....


ඒකටත් බහුතරය අකමැතියි. මොකද අපේ උන්ට මෙලෝ වැඩක් නැතුව ඉස්කෝලෙ එන්න එපා කිව්වත් උන් එන එක නවත්තන්න බෑ. නොදැක ඉන්න බැරි ස්ත්‍රීරත්න ඉන්නව නෙ පහල පන්ති වල. ඒ හින්ද ට්‍රිප යන යෝජනාවත් නිශ්ප්‍රභයි.

කමුද ගුලි ?....

කාගෙ උනත් පදිරි අයිඩියාව. කොහොමත් ඉතිං ඕකෙන් දෙකක් කෑවාම ආයෙ ගන්න දෙයක් නෑ, පදිරිම තමයි. යෝජනාව වැඩි ඡන්දයෙන් ස්ථීරයි.

     ඔන්න සයන්ස් ඩේ එක තියන දවසත් ආව. බඩු ගේන්න පොරොන්දු උනෙ වටයා. කස්ටිය වෙනදට වැඩිය කලින්ම ඉස්කෝලෙට ඇවිල්ල. ගුලි ගේන්න භාර දුන්න එකා තමයි පරක්කු. මෙන්න කියනකොටම එනව දිලිසි දිලිසි. මූ මේ ටික පැක් කරගෙන ඇවිත් තියෙන්නෙ හරියට මුතු මැණික් ගේනව වගේ. කිසිම දේකට නැති තරම් සමගියකින් කට්ටිය එකින් එක වාශ්ප කරල දැම්ම. හරියට නිකන් දිව්‍ය භෝජන වලඳනව වගේ. මං දෙක හමාරයි. තඩියා දෙක හමාරයි. අනිත් උනුත් ඒ හා සමානව හෝ ඊට මදක් අඩුවෙන්.

පැයක් විතර ගියා. නෑ කිසිම ගතියක්. 

යකෝ දෙක හමාරක් කාලත් මෙලෝ රහක් නෑ. තෝ ගෙනාවෙ පරණ වෙච්චද බූරුවො.

කට්ටියම එකතුවෙලා ගුලි ගෙනාපු එකාගෙ පලු යවනව. දැං ඉතිං මොනව කරන්නද. යමං කැන්ටිම පැත්තෙ ප්ලේන්ටියක් වත් ගහන්න. කට්ටියම කැන්ටිම බලා පිටත් උනා.

ඇන්ටි ප්ලේන්ටි පහක් දාන්ඩෝ. 

අපේ ඕඩරය කැන්ටිමේ ඇන්ටිටයි. 

සීනි නං ටිකක් වැඩිපුර දැම්මත් කමක් නෑ. අපිට සීනි නෑ. 

වැඩි සීනි දාන්න කියල විහිළුවෙන්ම කිව්වෙ කෙලින්ම වැඩි සීනි ප්ලේන්ටි ඉල්ලුවොත් සීන් එක නෝන්ඩි වෙන හින්දමයි.

     ෂිහ්. ප්ලේන්ටිය නම් කියල වැඩක් නෑ. මං හිතන්නෙ ප්ලේන්ටි නෙවෙයි. මී පැණි. බීල වතුරෙන් කට හේදුවෙ නැත්තම් ෂුවර් විනාඩි පහෙන් කතාකරන්න බැරි වෙනව කට ඇලවිල. ඒ තරමට සීනි.

     දැන් නම් මොකක්දෝ අමුත්තක් දැනීගෙන එනව. කට්ටියගෙ මූණු ඇද වෙලා. සමහර උන්ගෙ මූණෙන් භාගයක් සයිස් එකටම ඇස් ලොකු වෙලා. ඔන්න ටිකෙන් ටික පෘතුවියේ ගුරුත්වාකර්ෂණය අඩුවෙමින් චන්ද්‍රයාට සමාන ගුරුත්වාකර්ෂණයකට ළඟාවෙන බව අපි කාටත් ඒත්තු ගැන්වෙමින් තිබුනා.

යමුද බං සයන්ස් ඩේ එක බලන්න මේන් හෝල් එකට ?...

අළුත් යෝජනාවක්.

     වරප්‍රසාදලත් පන්තියේ සයන්ස් ඩේ එක නැරඹීම, පීඩිත පන්තියේ ආර්ට් ශිෂයින්ට තහනම් වෙලයි තිබුනෙ.


     දැන් ඉතිං ප්‍රභාකරන්ව හොයන්න යමං කිව්වත් අපේ එවුන් නෙමෙයි බෑ කියන්නෙ. ඒ තරම් ගටක් හිතේ තියනව.

යමං....

     ඇවිදින්න ගත්තාම තමයි ගුලියෙ පවර් එක මීටර් උනේ. සමහර උන් තනි කෙලින් ඇවිදින්න ට්‍රයි කරනව. තව එකෙක් ගස් වලට, පන්ති කාමර වලට මුවා වෙවී එනව නිකන් ආමි මිෂන් එකක් වගේ. ඒ උනාට ගුරුවරයෙක් පැත්ත පලාතක නෑ. පඩිපෙල් වලින් බහිනව නෙවෙයි, පියාඹනව. ඔන්න ඔය වගේ දුෂ්කර ගමනකින් පස්සෙ අපි සෙට් එක මේන් හෝල් එකට ළඟා උනා. මොන කරුමෙකටද දන්නෙ නෑ කාලය ගමන් කරන්නෙ හරිම හිමින්. පේන දුරින් තියන මේන් හෝල් එකට එන්න අපිට පැයක් විතර ගියා වගෙයි දැනුනෙ.

     ආවට මොකද ආරාධිත ලීලාවෙන් ඇතුලට යන්න අවසර නෑ නෙ. ඉතිං හොයනව හොර පාරවල්. මේන් හෝල් එක කිව්වට මේක තවම හදල නිමකරල නෑ. තට්ටු දෙකට ගහල, බිමට සිමෙන්ති දාල, තිබුනට හරියට ආවරණය කරල නෑ. ඉතින් ස්ටේජ් එක ලඟින්ම ඊට සමාන්තරව දකුණු පැත්තෙන් තියනව පොඩි කාමරයක්. හරියටම කිව්වොත් මේක තමයි ස්ටේජ් එකට යන අයට රැඳී ඉන්න හදල තිබුන කාමරය. තවම වැඩ නිමවෙලා නැති හින්ද මේක පාවිච්චි කලේ නෑ. එතෙන්ට ගියොත් ස්ටේජ් එකේ සිද්ධවෙන දේවල් හොඳට බලාගන්න පුලුවන්. මොකද ඒ කාමරෙයි ස්ටේජ් එකයි එකට යාවෙලා තිබුනෙ. තවම දොරවල් දාල නැති නිසා.

     ඔන්න අමාරුවෙන් රිංගගත්ත ඕක ඇතුලට. හපොයි. හොරෙන් සයන්ස් ඩේ එක බලන උන්ගෙන් කාමරේ පිරිල. ඔක්කොම විසි පහක්, තිහක් විතර. ආර්ට් කොමස් විතරක් නම් කමක් නෑ. යකෝ සයන්ස් එකේ උනුත් මෙතන ඉන්නව නෙ. නීත්‍යානුකූලව බලනවට වඩා අනවසරයෙන් බැලුවාමනෙ වින්දනීය ගතිය වැඩි.

     මේ කාමරේ පාවිච්චියට ගන්නෙ පිට්ටනියෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන උන් ඇඳුම් මාරු කරන්න, උන්ගෙ බඩු බාහිරාදිය තියන්න වගේ දේවල් වලට. කොටින්ම මේක පොඩි ගබඩා කාමරයක් වගේ. විකට් පොලු, නෙට්, ලෑලි කෑලි, යකඩ බට වගේ දේවලුත් තියනව.

     විසි පහක්, තිහක් හිටියට මොකද මට පේන්නෙ නිකන් සීයක් විතර ඉන්නව වගේ. මාත් එක්ක ආපු උන් හොයාගන්නත් බෑ. උන් හිටි හැටියෙ මතු වෙනව. ආයෙත් නැතුව යනව. ගුලිය හින්ද වෙන්න ඇති. 

     ලොකු සෙට් එකක් හිටියට මොකද එකෙක් වත් මීක් කියන්නෙ නෑ. පොඩි සද්දයක් හරි ආවොත් ඇවිත් ඉන්න ආරාධිතයින්ටයි, ගුරුභවතුන්ටයි සේරටම ඇහෙනව.  එහෙම උනොත් අම්බානක පූජාව තමයි. ඒ හින්ද එකෙක්ට කිබුහුමක් යන්න ආවත් නහය මිරිකල කට පොඩිකරල අමාරුවෙන් නවත්තගන්නව මිසක් අල්පෙනිත්තක් වැටෙන සද්දයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙ නෑ.

      ගුලියෙ පවර් එකටද කොහෙද මෙතන සිද්ධවෙන මෙලෝ දෙයක් මට තේරුම් ගන්න බෑ. සමහර උන් මාත් එක්ක හිනාවෙනව. මට උන්ව දැකල පුරුද්දකුත් නෑ. කතා කරනකොට කියනව හිමින් කතාකරපං කියල.ඇයි යකෝ මං හයියෙන් කතා කරනවද? කිසිම සද්දයක් නෑ කිව්වට මට මහා ඝෝෂාවල් ගොඩක් එක දිගට ඇහෙනව.

     මේ අන්ද මන්ද ගතිය යන්නත් එක්ක මං අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිද්ද. මෙන්න යකෝ කාමරේ හිටපු උන් කඩිගුල වගේ එකපාරම ඇවිස්සුනා. සමහර එවුන් හිස් ලූ ලූ අත දුවනව. හරියට නිකං ගාමණී ෆිල්ම් එකේ ගමට කොටි පැනපුවාම ගමේ උන් හතර අතේ දිව්වෙ. අන්න ඒ වගේ. එකෙක් ජනේලෙකින් පනිනව. එකෙක් අනිත් උන්වත් පෙරලන් දුවන්න හදනව. තව එකෙක් මට බැන බැන දුවනව. 

මොකක්ද යකෝ තෝ කලේ. පිස්සුද තොට.....

     ඇයි යකෝ මොනව කලාටද අහිංසක මට බනින්නෙ. මේ සේරම උනේ තප්පර දහයක් විතර ඇතුලත. මොකද මේ උනේ කියල හිතාගන්න බැරිඋන මං තව එක අඩියක් ඉස්සරහට තිබ්බ මොකද වෙන්නෙ බලන්න. එතකොටනං මටත් ටිකක් ධාරාණිපාත සද්දයක් ඇහුන. ඒත් එක්කම මං බැලුවෙ මොකක් උඩද මං ඉන්නෙ කියල. 

මලා.... 

මං මේ අඩි හතරක් පහක් ඇවිදල තියෙන්නෙ බිම දාල තිබුන ටකරමක් උඩ. ගුලියෙ පවර් එකට මට සද්දෙ ඇහෙන්න ගත්තෙ ටිකක් පමා වෙලා. ඒ ඇවිදපු සද්දෙ මුළු මේන් හෝල් එකටම ඇහිල. ඇහෙන්නෙ නැද්ද ඉතිං  සපත්තුත් දාගෙන පහළ දාල තියනව වගේ ටකරමක් උඩ ඇවිදිනකොට.












     තවමත් සියළු ආශාවන් අතෑරල දුවන උන් අනුගමනය කරපු මමත් පණ එපා කියල දුවල ගිහින් නතර උනේ කවදත් අපිට ආරක්ෂාව සලසන ටොයිලට් එකේ. ටික වෙලාවක් යනකොට අපේ අනිත් උන් ටිකත් බඩවල් අල්ලගෙන හිනා වෙවී එනව.

අදටත් අපේ සෙට් එක එකතු උනාම ගුලි කාල ටකරං උඩ ඇවිදපු සීන් එක මතක් කරල හිනාවෙනව.




Sep 20, 2012

අභියාචනය.....








   මේක කවියක්ද, නිසඳැසක්ද, වෙන මොකක් හරිද කියන්න මං දන්නෙ නෑ. මට හිතුන, මං ලිව්ව. මේ නිර්මාණය මගෙ අතින් වෙලා ටික කාලයක්. මූණු පොතට නම් දැම්ම. මේක මේ විදිහට ලියවෙන්න අතීත සිදුවීමක් වගේම මූණු පොතෙත් පොඩි සම්බන්ධයක් තියනව. මේක ලියන්න මූලික උන සිදුවීම මොනවගේ එකක්ද කියල තීරණය කිරීම ඔබට භාරයි.





කල වැරදි වැඩි නිසාම
දරුණු දඬුවම් සමග
තීන්දුව ලියවිලා
දඬුවමත් විඳවමින්
කරන්න ඉතුරු වෙලා තිබුන
එකම දේ..........

ඒකත් මම අද කලා
දෙපාරක් නොහිතාම
දාපු අභියාචනයත්
Accept නොවෙන කොට
තවත් කරන්න එකම එක දෙයක්
ඉතිරි වෙලා තිබුනා

ඒ...............

වැරදිකාරයෙක් විදියට
ජීවත් වෙලා
වැරදිකාරයෙක් විදියටම
මැරිල යන එක......


මූණු පොතේ දැම්මෙ මෙහෙම...





Sep 15, 2012

ආයෙමත් වහිනව.....







ගොඩක් දවසකින්
ආයෙමත් වහිනව
මං දකින්න ආසම විදියට
එදා වැස්ස විදියටම...
පොඩි පොඩි වැහි බිංදු මහ ගොඩක්
පොළොවට වැටෙනව
රිද්දන්නෙ නැතුවම
එදත් මේ විදියමයි...

නොතෙමීම නුඹ යන දිහා
තෙමි තෙමී බලං ඉන්නව මං
දැනුනෙ නෑ බිඳක් වත්
තෙමෙන බව නම්
අහිතක් නෑ
වැස්ස ගැන

තෙමුනත් මං
නොතෙමී නුඹ ගිහින්...

වැරදිලාවත් තෙමුන දවසක
නුඹට වැටහෙයි
මොනතරම් නම්
ළෙංගතුද මේ වැස්ස

අදත් ඒ වැස්සමයි
තවත් නම් බෑ බලන් ඉන්
මේ වැස්ස දිහා
මූණ හොඳටම තෙමෙනව
වැස්සට නෙවෙයි...



Sep 13, 2012

සිංදු කියන්න එපා.....






මීට කලින් ලියපු පෝස්ට් එකට මාරයාගේ හෝරාවෙන් පොඩි උපදේශයක් දීල තිබුන. ඒ තමයි සීන් වල චාටර් කං හිත හිත ඉන්නෙ නැතුව හිතට එන දේ ලියල දාන්න කියන එක. ඒත් ඉතිං කොහොමද මේ සීන් කටක් ඇරල කියන්නෙ. කමක් නෑ. ඔන්න ඔහෙ කියල දානව.

මේ සිදුවීම උනේ 2009 අවුරුද්දෙ මුල හරියෙ. ඒ කියන්නෙ ඒලෙවල් එහෙම කරල රිසල්ට් එනකන් දඩාවතේ ගියපු අවධිය. ඔය කාලෙට ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ ඉතින් හිරගෙදර ඉන්නව වගේ වැඩක්. ඒ කම්මැලිකම මකාගන්න මට හොඳ විනෝදාංශයක් සෙට්වෙලා තිබුන.

ඒ තමයි බස් එකේ හිඟුරක්ගොඩ යන එන එක. හැබැයි සල්ලි දීල නෙවෙයි. මගේ යාළුවෙක් හරහා මං අඳුරගත්තු හොඳ යාළුවෙක් හිටිය සමීර කියල. මං කතාකලේ සමීර අයිය කියල. අපිට වඩා අවුරුදු හතරක් පහක් වැඩිමල්. සමීර අයිය වැඩකලේ කුරුණෑගල - හිඟුරක්ගොඩ බස් එකක කොන්දොස්තර තැන හැටියට. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන දවසට ඔය බස් එකේ නැගල මමත් යනව හිඟුරක්ගොඩ ගිහින් එන්න. කුරුණෑගල ඉඳන් හිඟුරක්ගොඩ ගිහිල්ල එනව කියන්නෙ ට්‍රිපක් යනව වගේ තමයි ඉතින්.

9:30 ට බස් එක කුරුණෑගලින් හිඟුරක්ගොඩ බලා පිටත් වෙනව. ගොඩක් දවස් වලට සීට් ගානටවත් සෙනඟ නෑ. කොච්චර සීට් තිබුනත් මං නම් ඉඳගන්නෙ නෑ. ෆුට් බෝඩ් එකට වෙලා ආතල් එකේ හුලං පාරක් වැදි වැදි මනෝ ලෝකෙක තමයි මං ඉන්නෙ.

ඔය බස් එකේ නවාතැන වෙන්නෙ කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන පාරෙ කුරුණෑගල ඉඳල දඹුල්ල පැත්තට කිලෝමීටර් 25 ක් විතර ගියාම තියන කුඩා නගරයක්. ඉතිං හවසට කුරුණෑගල ඉඳල ඔය නවාතැනට යන්නෙත් පොඩි ලෝඩ් එකක් දාගෙන. අපේ ගෙවල් තියෙන්නෙත් මේ නවාතැනට යන අතර මැද හින්ද මමත් සමීර අයියත් එක්ක හවස් වෙනකම්ම චැට් එකක් දාගෙන ඉඳල ගෙවල් ලඟින් බැහැල යනව.

මං මේ කියන්න යන සිදුවීම වෙච්ච දවසෙත් හිඟුරක්ගොඩ ගිහිල්ල ඇවිල්ල හවස ගෙදර යන්න යනව. වෙලාව හවස 7:15 ට විතර ඇති. කුරුණෑගලින්ම වයස 30, 35 විතර හතරදෙනෙක් නැගල පිටිපස්සෙ සීට් එකෙන් වාඩිවුනා. මං හිටියෙ පිටිපස්සෙ ෆුට්බෝඩ් එකේ මැදට වගේ වෙන්න. මුං හතරදෙනාම ටිකක් බීල හිටියෙ. මට ඒක තේරුනත් මං වැඩිය හිතන්න ගියෙ නෑ. කොහොමත් මත්වතුර කෙරෙහි මගෙත් විරුද්ධත්වයක් නෑ. ඔන්න බස් එක ස්ටෑන්ඩ් එක පහුකරල දඹුලු පාරෙ කිලෝමීටර් 3ක් විතර ආව.

මේ වෙලාවෙ බීපු සෙට් එක සින්දු කියන්න පටන්ගත්ත. බීල සින්දු කියන එකටත් මගෙ කොහෙත්ම අකමැත්තක් නෑ. ඕක මගෙත් පුරුද්දක්. බීල පොඩි සින්දුවක් කිව්වෙ නැත්තන් ගතියක් නෑ. ඒත් ඉතිං මේක බස් එකක්නෙ. යන එන අනිත් මිනිස්සුන්ටත් කරදරයක්. ඒ උනාට මං මොකවත් කියන්න ගියේ නෑ. මමත් මගියෙක් වගේ නෙ. අනික මොකටද ඉල්ලං කන්නෙ.

ඔන්න ඔය අතරෙ සමීර අයිය හඬ අවදි කලා.

" අයියෙ.. සින්දු කියන්ඩ එපා.. මේක බස් එකක්. ඔයාල විතරක් නෙවෙයි තව මිනිස්සු මේකෙ යනවනෙ "

මූ නිකං හාල්මැස්සෙක් වගේ කෙට්ටුයි. ඒ උනාට දුන්නෙ පදිරි ටෝක් එකක්. (නොකිව්වට මාත් හාල්මැසෙකුට හපං)

දැං ඉතිං බීපු සෙට් එකෙන් ප්‍රතිචාර ලැබෙනව වැල නොකැඩී.

" අපිට ඕන තැනක අපි සින්දු කියනව, ඇයි නවත්තන්ඩද? "

" මල්ලී....අපිත් හැමදාම යන්නෙ එන්නෙ මේ පාරෙං තමා..හරීද.... "

මේ වගේ දරුණු කමෙන්ට්ස් ලැබෙනව.

හදිස්සියෙ මැද හරියෙ හිටපු පුද්ගලයෙක් නැගිට්ටා.
බාහිර පෙනුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් වගේ.

" අයියෙ...කෑව බිව්ව නං අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්ඩ හැසිරෙන්ඩ බලන්ඩ. මේක ගෙදර නෙවෙයි නෙ සිංදු කියන්ඩ "

ඒ ටෝක් එකෙන් නම් කට්ටිය පොඩ්ඩක් ඇඹරි. දැං මුළු බස් එකම පිටිපස්ස බලාගෙන. එක්කෙනයි ඉස්සරහ බලන් ඉන්නෙ. ඒ ඩ්‍රයිවර්.

බස් එක ටිකදුරක් ගියා. බීපු සෙට් එකෙන් සද්දයක් නෑ. සමීර අයියත් පිටිපස්සෙ දොර ළඟටම ඇවිල්ල ඉන්නව. දැන් තත්වය සාමාන්‍යයි. බාහිර පෙනුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් වගේ කියපු පුද්ගලයත් බැහැල ගියා.

ඔන්න මත්පැන් බීල හිටපු කස්ටිය බහින තැනත් ළං උනා. මං ෆුට් බෝඩ් එකේ මැද, සමීර අයිය උඩම පඩියෙ. බස් එක හෝල්ට් එකේ නැවැත්තුව. බීපු හතර දෙනාගෙන් එකා එකා බැහැල යනව. බහින ගමන් පොඩි පොඩි සද්දත් දානව.

" අපි ආයෙ දවසක හම්බවෙමු හරීද...."

" උඹ යන්නෙ එන්නෙ මේ පාරෙන් නෙ බලාගමු. "

දැන් නම් සමීරයටත් මල පැනල. මූත් අනං මනං කියනව.

මේ අතරෙ බිමට බැහැල හිටපු එකෙක් ෆුට් බෝඩ් එකේ පඩියක් උඩට නැගල සමීර අයියට පාරක් ගහන්න හැදුව. මොනව උනත් එකට ඉන්න යාළුව වුන එකේ ඒ ගහපු පාර වදින්න දෙන්න බැරිකමට මං මැදට අත දැම්ම. අත දාපු නිසා ඌ ගහපු පාර සමීර අයියට නොවැදුනත් මගෙ වැලමිටේ හයියෙන් වැදුන. වැදුන වැදිල්ලට බුවාට සෑහෙන්න රිදෙන්න ඇති. මං ඉතිං ඇටකෝටු ගොඩක් නෙ.

මුගෙ වෛරෙ තිබ්බෙ සමීරයත් එක්ක උනාට මූ මාව ඇදල ගත්තෙ නැද්ද ෆුට් බෝඩ් එකෙන් බිමට. හපොයි, මූ මට ගහන්නයි හදන්නෙ. ගුටි කාල ගියත් මේ හංදියෙ නම් ගහගන්න බෑ. මේ හරියෙ ඉන්න උං පිට කහන්නෙත් මාළු පිහි වලින්. ඒ හින්ද සදාකාලික අබ්බගාත වෙනවට වැඩිය විනාඩි දෙක තුනක් ගුටිකන එක සැපයි.

" ඇයි යකෝ මට ගහන්නෙ ". අඩු තරමෙ එහෙම අහන්නවත් මූ මට වෙලාවක් දුන්නෙ නෑ. අහල තියනව නෙ ගහකින් පොල් කඩද්දි තප්පර පහ හයක් ඇතුලත පොල් ගෙඩි දහයක් දොළහක් එකපිට වැටෙන සද්දෙ. ඔය සද්දෙන් තමයි පූජාව හම්බුනෙ. කාටවත් වැඩිය පේන්නෙ නෑ. හවස 7:30 ට විතර නිසා. ඒ අස්සෙ සමීර අයිය කෑගහනව,

" මධුරංගයා...ගහන්ඩ එපා වරෙං වරෙං බං "

ඌට මඤ්ඤං. මං හෝ ගාල ගුටිකනව. ඌ හිතන්නෙ මං ගිහිල්ල බීපු හතරදෙනාටම ගහනව කියල.

කොහොම හරි සමීරයටත් සීන් එක මීටර් වෙලා. ඌ බිමට බහිනකොටම මට සලකමින් හිටපු බුවා මාව ඔලුවෙන් අල්ලල බිමට පාත් කලා. දැන් මං හොඳටම දන්නව හෙනගහන්නා හා සමාන පාරක් පිට මැදට වදින බව. ඒ පාර වැදුන ගමන් මාතෘභූමිය සිපගන්න මං සූදානම් වුනා. මේ වෙනකොට ඒතරම් අමාරුයි. ඒත් පුදුමෙ කියන්නෙ මූ ගැහුවෙ නෑ. එහෙට මෙහෙට දඟලනව. බලද්දි සමීර අයිය මොකක්ද එකකින් මූට ගහනව. මං හිතුවෙ බස් එකේ තියන යකඩ පොල්ලෙන් ගහනව ඇති කියල. අනේ නෑ....සමීරය ගහන්නෙ ටිකට් පොතෙන්. හරියට නිකං පහ වසරෙ පොඩි උන් කොපි පොත් වලින් ගහගන්නව වගේ.

කොහොම හරි බීපු උන් හතරදෙනාගෙ බාධක මැද්දෙන් අපි දෙන්න බස් එක ඇතුලට රිංග ගත්තෙ වටේ පිටේ උන් මෙතෙන්ට සෙට් උනොත් අපි දෙන්නට උඩ තියල නෙලන බව දන්න හින්දමයි. අපි නගිනවත් එක්කම බස් එක ඇද්දුව. වෙලාව හොඳයි. තව පොඩ්ඩෙන් මළගෙවල් දෙකයි.

ඒ වෙනකල් එකෙක් බස් එකෙන් බිමට බැස්සෙ නෑ. මමත් ඉතින් කැමැත්තෙන් නෙවෙයිනෙ බැස්සෙ. බලෙන් නෙ මාව ඇදල ගත්තෙ. දැන් තමයි හොඳම හරිය. මෙච්චර වෙලා බස් එකේ හිටපු උන්ට නින්ද ගිහිල්ලද කොහෙද ඉඳල තියෙන්නෙ. ඔන්න එක එකා අහනව. එකෙක් ගහපු උන් කව්ද අහනව. තව එකෙක් රිටන් එක දෙන විදිහ කියනව. ඔය අතරෙ රිදෙනවද කියලත් සමහර උන් අහනව. මීට වැඩිය හොඳයි අතන ඉඳල තව ටිකක් ගුටි කෑවනං. මුං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් කට රිද්දගන්නවට වැඩිය නිකං ඉන්න එක හොඳයි කියල හිතුන හින්ද හිත ඇතුලෙන් හැම එකාටම ජාතිය අමතල මං නිහඬ උනා.

සමීරයටත් මාර අවුල. ඌට හම්බුන ටොපියක්නෙ මට කන්න උනෙ. ෂර්ට් එකේ බොත්තම් දෙකයි ඉතුරු. මූණෙ සමහර තැන් ඉදිමිල. ඒ පිටින් පේන ටිකනෙ. ගල් රෝලෙකට යට උනා වගේ මුළු ඇඟම රිදෙනව. ඌ කියනව ගිහිල්ල සෙට් එකත් එක්ක ඇවිල්ල පෝරියල් එකක් දෙමුලු. අපෝ මට බෑ. දෙන දෙයක් උඹම දීගනිං. මේ දුන්න හරිය මදැයි.
ගෙවල් කිට්ටු උන හින්ද මං බැස්ස. දැං ගෙදරටත් බොරුවක් කියන්න එපැයි. බස් එකෙන් බහිද්දි ෂර්ට් එක දොරේ පැටලිල බොත්තම් කැඩුන. ඒක හොඳ සාධාරණ හේතුවක් සහිත බොරුවක්.
කොහොමත් සතියක් විතර යනකං ඇඟේ අමාරුව නම් නොඅඩුව තිබුන. ටික දවසක් යන්න ඇරල ඇඟේපතේ අමාරුව යන්නත් එක්ක දැල් කඩෙන් බෙහෙත් ගත්ත.
ඔන්න ඔහොමයි සිංදු කියන්න එපා කියල ඉල්ලං කෑවෙ. එපා කිව්වෙ වෙනිං එකෙක්, කෑවෙ මං. ඒ ආදර්ශය හිතට අරං කවදාවත් සිංදුවක් යන රේඩියෝ එකක් වත් මං ඕෆ් කරන්න යන්නෙ නෑ. අදටත් සමීර අයිය හම්බුනාම පුරුද්දට වගේ අහනව " ආයෙ කාටවත් සිංදු කියන්න එපා කිව්වෙ නැද්ද බං " කියල.



ප/ලි : නම් ගම් මනඃකල්පිත නැත.



Sep 10, 2012

පසු කල මග.....



පළවෙනි පෝස්ට් එක දාපු දවසෙ ඉඳල කල්පනා කලේ ඊළඟට දාන පෝස්ට් එක මොකක්ද කියල. පෝස්ට් එකට ලියන්නෙ මොනවද කියල කල්පනා කරන්න පටන්ගත්ත වෙලාවෙ ඉඳන් දාහක් දේ හිතට ආවත් ඒ සේරම නාගත්ත, ඇනගත්ත, අනාගත්ත සීන්. පටන්ගත්ත අලුත ඕව දාන්න ගිහින් බ්ලොග් එකත් අනාගන්න වෙයි කියන බය හිතට දැනුන නිසාම ඒ අදහස අතෑරල දැම්ම. ඒත් ඉතින් වැදගත් දෙයක් මතක් වෙන්නෙම නෑ. මට වෙලා තියෙන්නෙ චාටර් සීන් විතරමද කොහෙද.
ඔය ඉන්න අතරෙ තමයි කල්පනා උනේ මේ ගෙව්නු අවුරුදු 23 දිහා ආපහු හැරිල බැලුවොත් නරකද කියල. ඒ හැරිල බලපු බැල්ම තමයි මේ.

පහුකරන් ආපු අතීතය දිහා කොච්චර වෙලා බලන් හිටියත් වැඩිපුරම මතකෙට එන්නෙ අවුරුදු 13 ක් පුරාවට ඉස්කෝලෙත් එක්ක ගෙවිල ගියපු ඒ අසම සම කාල පරිච්ඡේදය. ජීවිතේ මොනතරම් සැපවත්, සාරවත්, රසවත්, සොඳුරු කාල පරාසයන් පහුකරන් ආවත් ඒ හැම මතකයකටම වඩා හිත ඇතුලෙ ගැඹුරින්ම තැන්පත්වුනු ළෙංගතුම මතකය වෙන්නෙ අපි ගතකරපු පාසල් ජීවිතය. ඉස්කෝලෙ ගියපු ඕන මනුස්සයෙක්ට ඔය කතාව සාධාරණයි. ඒක මටත් ඒ විදියම තමයි.
ඉස්කෝලෙ ගියපු අවුරුදු 13 න් 11 ක්ම ගෙවුනෙ මෙලෝරහක් නැතුව. හරියට උපදින්න මවු කුසක් ලැබෙනකං හිස් අවකාශෙ පාවෙන ගන්ධබ්බ ආත්මයක් වගේ. එහෙට මෙහෙට පාවෙවී. ගෙදරින් යන්න කියන හින්ද යනව, ලියපං කිවුවාම ලියනව, කියවපං කිවුවාම කියවනව, කරන කියන කිසිදේක තේරුමක් දන්නෙ නෑ. කොටින්ම කියනවනම් ඉස්කෝලෙ යන එකේ, ඉගෙනගන්නව කියන එකේ අවසාන අරමුණ, ඉලක්කෙ මොකක්ද කියලවත් මට තේරුමක් තිබුනෙ නෑ. ගෙදරිනුයි ඉස්කෝලෙනුයි ඒ අරමුණ මොකක්ද කියල අනන්ත කියල දුන්නත් මං ඒක තේරුම්ගන්න එච්චර උනන්දු උනෙත් නෑ.
හැබැයි ඉතින් එහෙමයි කියල මං අර පිස්සුකෙලින, වලි දාගන්න, රස්ථා සෙට් එකට වැටුනෙත් නෑ. පන්තියෙ හිටපු නිහඬ නිසොල්මන් එකෙක් තමයි මං. 10, 11 පන්තිවල ඉන්න කාලෙ පන්තියෙ උන් ටවුන් එකේ වලි වලට බහිනකොට උන්ගෙ පොත් ටික දීල යන්නෙ මගෙ අතට. උන් දන්නව වලිය ඉවරවෙලා එනකන් පොත්ටික මං ගාව පරිස්සමට තියනව කියල. මොකද අපේ එකෙක් මැරුනත් මං වලියට එන්නෙ නැති බව කට්ටිය දන්නව.

මීටරයකුත් නොවී වල බහින්නෙත් නැතුව ඔය දෙකටම මැදින් ඉඳල ඕලෙවල් කල නිසාමද කොහෙද මට හම්බවුනෙ එහෙටත් නැති මෙහෙටත් නැති රිසල්ට් එකක්. නිකන් ෆේලුත් නෑ, පාසුත් නෑ වගේ. ඒ හින්දම ඒලෙවල් කරන්න සෙට් වුනේ ආර්ට්. එදා මෙදා තුර මං දැකපු හෘදයාංගම ම විශය ධාරා . ඒලෙවල් වල තිබුන සබ්ජෙට් ගැන මට හිතෙන්නෙ එහෙමයි. වෛද්‍ය ක්ෂේත්‍රයේ හිණිපෙත්තට ගිය විශේෂඥ වෛද්‍යවරු , අසම සම නිමැවුම් මවන ඉංජිනේරුවන් බිහිකරන්න මේ විශය ධාරාවෙන් නොහැකි වුනත් මහපොළවෙ පයගහල ඉන්න සොඳුරු හදවත් තියෙන සංවේදී මිනිස්සු කොට්ඨාශයක් මේ හරහා බිහිවෙනව මං දැකල තියනව.
ඔය කාලෙ වෙනකොට මුලින් කියපු මෙලෝරහක් නැතුව ගතකරපු අවුරුදු 11 ගෙවිල ඉවරයි. මෙතනින් තමයි ජීවිතේට බොහොමයක් අත්දැක්කීම් එක්කරපු, ජීවිතේ බරක් පතළක් ගැන අවබෝධයක් මුහුකරපු සුදුවීම් සමුදායක් දිගහැරුනු දෑවුරුද්දක ඇරඹුම සනිටුහන් වෙන්නෙ. ඒත් මේ පෝස්ට් එකේ ඒ ගැන විස්තරයක් කරන්න ඉඩ කඩ මදි නිසා ඒක කල්දාන්නයි අදහස.
කට්ට කාගෙන ඒ අවුරුදු දෙක ගෙවපු නිසා තෑග්ගක් විදිහට ලැබුණු "සී" අකුරු තුනත් කරපින්නගෙන පාසල් ජීවිතේටත් ආයුබෝවන් කිව්වෙ තව සැරයක් එක්සෑම් කරන්න කියල ගෙදරින් වගේම වටපිටිනුත් තිබුණු ඉල්ලීම් සියල්ල නොසලකා හරිමින්. මං හිතන්නෙ ඒ දවස්වල නරක ග්‍රහයෙක් මගෙ ලග්නෙ රන් කරන්න ඇති. අපරාදෙ...

කොහොමින් කොහොම හරි ලෝකෙ නැති කෝස්, ඩිප්ලෝමා පස්සෙ අවුරුද්දක් විතර පන්නල පන්නල එපා වුන තැන ජොබක් සෙට් කරගත්ත. මාස තුන හතරකට පස්සෙ හරි සන්තෝසෙන් එතෙන්ටත් ආයුබෝවන් කියල අළුත් ජොබකට බැස්ස මං එතන නම් අවුරුදු එකහමාරක් වැඩ කලේ කවදාවත් නොතිබුන උනන්දුවකින් වගේම කිරල මැනල පෙන්නන්න බැරි තරමේ දැනුමක් සහ අත්දැකීම් මහ ගොඩකුත් එකතු කරගන්න ගමන්.
ඒ අවුරුදු එකහමාරෙන් පස්සෙ එතනටත් සමුදීල ගෙදර ඉන්න අතරෙ හිතට වැටුනු අදහසක් නිසා මෙතෙක් ආ මග ටිකක් විතර වෙනස් වුනාද මන්ද. කලින් ලැබුණු දැනුම වගේම අත්දැකීමුත් එකතුකරන් මං පටන්ගත්තෙ මගේම කියල ටිකක් විතර පුංචි කම්පියුටර් ෂොප් එකක්. ඒ දැනට මාස හයකට විතර කලින්. අදටත් මං මේ පෝස්ට් එක ලියන්නෙත් එතන ඉඳන්.

ඔය විදිහට තමයි පසු කල මග දිහා ආපහු හැරිල බලපු මට පෙනුනෙ. පෝස්ට් එක කියවන අය කොහොම දකියිද කියල මං දන්නෙ නෑ. කොහොමත් මං දකින දේවල් මට පේන්නෙ
අනිත් අයට වඩා ටිකක් අමුතු විදිහට.




Sep 2, 2012

මේ ඇරඹුමයි.....




හැමෝගෙන්ම අවසරයි.

බ්ලොග් කියවන්න පටන් අරන් වැඩි කාලයක් නැතත් මටත් හිතුන මගේම කියල බ්ලොග් එකක් පටන්ගන්න. වැඩිය හුරු පුරුදු දෙයක් නොවුනත් ඒ උත්සාහය තමයි මේ විදිහට සඵ්ල වෙන්නෙ.

ලියන්න පටන්ගත්තට හරි අරමුණක් නෑ කොහෙන් පටන්ගන්නද, මොනව ලියන්නද කියල. හරියට මේ ජීවිතේ වගේ. අවුරුදු 23 ක් ගෙවිල ගිහින් තියන මේ ජීවිත කාලය පුරාවට ලබපු අත්දැකීම්, වෙච්ච සිදුවීම්, ඇහූ දුටු දේ අනන්තයි, අප්‍රමාණයි. මං හිතාගෙන ඉන්නෙ ඒ දේවල් එකින් එක මේ බ්ලොග් එකේ කුරුටුගාන්න. ඒත් ඉතින් ඒ හැම දෙයක්ම ඒ විදියටම ලියන්න බෑ. එහෙම කලොත් ඉතින් රෙදි නැතුව පාරෙ ගියා වගේ තමයි. ඒ හින්ද ලියන දේවල් ටිකක් විතර කපල කොටල නමල දිගඇරල තමයි ලියන්න වෙන්නෙ.

ලියන පෝස්ට් කියවල බලල හොඳයි නම් ඉස්සරහට යන්න පොඩි සප් එකක් දෙන්න. එහෙනම් සිංහල බ්ලොග් අවකාශයට මාවත් පිළිගන්න.




ප/ලි :
බ්ලොග් එකක් කියල මං ඉස්සෙල්ලම කියෙවුවෙ සඳරුගෙ හිස් අහස බ්ලොග් එක. හිස් අහස කියවගෙන යනකොට තමයි හිතුනෙ මමත් බ්ලොග් එකක් කරන්න ඕනෙ කියල.
ඒ වගේම " ලියපං, ලියපං උඹට ලියන්න පුලුවන් " කියල බ්ලොග් එක පටන්ගන්න සෑහෙන සප් එකක් දුන්නු යාළුව තමයි මහේෂ්.

බ්ලොග් එක පටන්ගන්න එකේ වැඩි ගෞරවය ඔය කියපු සඳරුටයි මහේෂ්ටයි දෙන්නටත් ලැබෙන්න ඕන.