Oct 16, 2012

‍යතුර වෙනුවට.....










     මෑත අතීතයේ ඒ කියන්නෙ මං දැන් කරගෙන යන කම්පියුටර් ෂොප් එක පටන් ගන්න කලින් වැඩ කරපු ඔෆිස් එකේ ඉන්න කාලෙ. එදා ඉතිං සුන්දර නිවාඩු ඉරිදා දවසක්, ඔෆිස් වල වැඩ කරන අනිත් අයට වගේම මටත්. ඒත් ගෙදර ඉන්න කම්මැලියි. වැඩ කරන තැනින් දීල තිබුණු බයික් එකත් අරන් ගියා ටවුන් එකට. අතිජාත මිත්‍රයෙකුටත් එන්න කියල  මද පමණට සෙට් උනා. ඒ කිව්වෙ???????????????? බිව්ව.....බිව්ව....

     ඉස්කෝලෙ ගියපු කාලෙ කතා, සමාජීය හා දේශපාලන කතා, ආගමික සංවාද එකී මෙකී සියල්ල ඉවර කරනකොට බෝතල් වගේම පියවි සිහියත් අවසානය කරා ළඟා වෙලා තිබුණා. යාළුවටත් යන්නං මචං කියාගෙන මමත් බයික් එකට නැගල ගෙදර ආවා. නෑ........ බයික් එක මාව ගෙදර ගෙනාවා. ඒ තරමට මගෙ සිහිය හොඳයි.


     හොඳ වෙලාවට ගෙදර එනකොට ගෙදර කවුරුත් නෑ. ඉක්මන්ට නාල කරල කාමරේට රිංගල දැම්ම පොඩි ඇලට් එකක්.

     මගේ කාමරේ තියෙන්නෙ ගේ ඇතුලෙ නෙවෙයි. ගෙදර ඉස්සරහ කොටසෙ ගෙදරට පිටින්. කෙටියෙන් කිව්වොත් මගේ කාමරේට යන්න ගේ ඇතුලට යන්න ඕන නෑ. ගෙදරට පිටින් තියන නිසා. ගෙදර යතුරු දෙකක් තියනව. එකක් මගේ ළඟ. අනික අම්මයි තාත්තයි ළඟ. 

     මං කිව්වනෙ එදා මං එනකොට ගෙදර කවුරුත් හිටියෙ නෑ කියල. ටික වෙලාවකින් ගෙදර කට්ටිය ආවා. මගේ කරුමෙට එදා අම්ම ළඟවත් තාත්ත ළඟවත් යතුර තිබිල නෑ. මට නින්දෙන් වගේ ඇහෙනව මා අමතන හඬ. 

ළමයෝ. යතුර දෙන්ඩ මේ ඉස්සරහ දොරේ. 

     හපොයි. දැන් කොහොමද මේ බේබදු මූණ පෙන්නගෙන යතුර දෙන්න යන්නෙ. එළ. නැගිටල බලද්දි කරුවල වැටිල. මං කරුවලේම නැගිටල කාමරේ ලයිට් එකවත් නොදා හෙමිහිට කාමරේ දොර ඇරල යතුර ළඟ තිබුන පුටුවෙන් තිබ්බෙ ළඟට ගියොත් බීපුවගෙ සුවඳ ඇවිත් මාට්ටු වෙන හින්දමයි. යතුර දීපු ගමන් ආයෙත් කාමරේ දොර වහගෙන ඇඳට පැන්නේ ආයෙත් නිදාගන්න හිතාගෙන. තාම බීපුව අම්බානක් වැඩ. මෙන්න විනාඩියක් යන්න හම්බුනේ නෑ තාත්ත තරහෙන් වගේ මහ හයියෙන් කෑගහනව.

මේකෙන් දොර අරින්න පුළුවන්ද යකෝ...

     මලා. මං වෙරිමතේ දීල තියෙන්නෙ ෂුවර් එකටම බයික් එකේ යතුර වෙන්න ඇති. දැන් මොකද කරන්නෙ. ක්ෂණිකව නැගිටල දොරේ යතුර හොයල කලින් විදියටම ආපහු තියල ඇවිත් නිදාගත්ත. මුලින් දුන්නෙ මොකක්ද කියලවත් බලන්න මට සිහියක් නෑ.

     පහුවදා උදේම නැගිට්ටෙ සඳුද නිසා වැඩට යන්න හිතාගෙන. නැගිටල මුකුත් නොවුන ගානට ගියා කුස්සියට. අම්ම උයනව. මාව දැකපු ගමන් අම්ම කෝපාවිෂ්ඨ උනේ නැද්ද.

මොකක්ද අර ඊයෙ හවස දොර අරින්න දුන්න එක ආආආආ.......

     ඇයි දෙයියනේ. මං රටක් රාජ්ජයක් මංකොල්ල කාපු විදියට නෙ ඇඟට කඩා පැන්නෙ. ඒ උනාට මාත් ගානකට නොගෙන කිව්ව 

මොකක්ද ඉතිං, බයික් එකේ යතුරනෙ මං දෙන්න ඇත්තෙ. මං මාර නිදිමතේ හිටියෙ...
කියල.

ඒක හොඳ නිදිමත. ආං දොර අරින්න දුන්න ඒක තියනව මේසෙ උඩ. ගිහිං බලනව...

අම්ම එහෙම කිව්ව හින්ද මං ගිහින් මේසෙ උඩ බැලුවා. 

හත් දෙයියනේ...... මෙහෙම වැඩක් හතුරෙකුටවත් වෙන්න එපා. අපොයි..මං දොර අරින්න කියල වෙරි මතේ යතුර වෙනුවට දී දීල තිබුනෙ මෙන්න මේකක්. මේවගෙන් පුළුවන්ද දොරවල් අරින්න. ඈ....?????

I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I
I



මං දොර අරින්න දීල තිබුනෙ මගේ ෆෝන් චාජර් එක.