මීට කලින් ලියපු පෝස්ට් එකට මාරයාගේ හෝරාවෙන් පොඩි උපදේශයක් දීල තිබුන. ඒ තමයි සීන් වල චාටර් කං හිත හිත ඉන්නෙ නැතුව හිතට එන දේ ලියල දාන්න කියන එක. ඒත් ඉතිං කොහොමද මේ සීන් කටක් ඇරල කියන්නෙ. කමක් නෑ. ඔන්න ඔහෙ කියල දානව.
මේ සිදුවීම උනේ 2009 අවුරුද්දෙ මුල හරියෙ. ඒ කියන්නෙ ඒලෙවල් එහෙම කරල රිසල්ට් එනකන් දඩාවතේ ගියපු අවධිය. ඔය කාලෙට ගෙදරට වෙලා ඉන්නව කියන්නෙ ඉතින් හිරගෙදර ඉන්නව වගේ වැඩක්. ඒ කම්මැලිකම මකාගන්න මට හොඳ විනෝදාංශයක් සෙට්වෙලා තිබුන.
ඒ තමයි බස් එකේ හිඟුරක්ගොඩ යන එන එක. හැබැයි සල්ලි දීල නෙවෙයි. මගේ යාළුවෙක් හරහා මං අඳුරගත්තු හොඳ යාළුවෙක් හිටිය සමීර කියල. මං කතාකලේ සමීර අයිය කියල. අපිට වඩා අවුරුදු හතරක් පහක් වැඩිමල්. සමීර අයිය වැඩකලේ කුරුණෑගල - හිඟුරක්ගොඩ බස් එකක කොන්දොස්තර තැන හැටියට. ඉතිං ගෙදර ඉන්න කම්මැලි හිතුන දවසට ඔය බස් එකේ නැගල මමත් යනව හිඟුරක්ගොඩ ගිහින් එන්න. කුරුණෑගල ඉඳන් හිඟුරක්ගොඩ ගිහිල්ල එනව කියන්නෙ ට්‍රිපක් යනව වගේ තමයි ඉතින්.
9:30 ට බස් එක කුරුණෑගලින් හිඟුරක්ගොඩ බලා පිටත් වෙනව. ගොඩක් දවස් වලට සීට් ගානටවත් සෙනඟ නෑ. කොච්චර සීට් තිබුනත් මං නම් ඉඳගන්නෙ නෑ. ෆුට් බෝඩ් එකට වෙලා ආතල් එකේ හුලං පාරක් වැදි වැදි මනෝ ලෝකෙක තමයි මං ඉන්නෙ.
ඔය බස් එකේ නවාතැන වෙන්නෙ කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන පාරෙ කුරුණෑගල ඉඳල දඹුල්ල පැත්තට කිලෝමීටර් 25 ක් විතර ගියාම තියන කුඩා නගරයක්. ඉතිං හවසට කුරුණෑගල ඉඳල ඔය නවාතැනට යන්නෙත් පොඩි ලෝඩ් එකක් දාගෙන. අපේ ගෙවල් තියෙන්නෙත් මේ නවාතැනට යන අතර මැද හින්ද මමත් සමීර අයියත් එක්ක හවස් වෙනකම්ම චැට් එකක් දාගෙන ඉඳල ගෙවල් ලඟින් බැහැල යනව.
මං මේ කියන්න යන සිදුවීම වෙච්ච දවසෙත් හිඟුරක්ගොඩ ගිහිල්ල ඇවිල්ල හවස ගෙදර යන්න යනව. වෙලාව හවස 7:15 ට විතර ඇති. කුරුණෑගලින්ම වයස 30, 35 විතර හතරදෙනෙක් නැගල පිටිපස්සෙ සීට් එකෙන් වාඩිවුනා. මං හිටියෙ පිටිපස්සෙ ෆුට්බෝඩ් එකේ මැදට වගේ වෙන්න. මුං හතරදෙනාම ටිකක් බීල හිටියෙ. මට ඒක තේරුනත් මං වැඩිය හිතන්න ගියෙ නෑ. කොහොමත් මත්වතුර කෙරෙහි මගෙත් විරුද්ධත්වයක් නෑ. ඔන්න බස් එක ස්ටෑන්ඩ් එක පහුකරල දඹුලු පාරෙ කිලෝමීටර් 3ක් විතර ආව.
මේ වෙලාවෙ බීපු සෙට් එක සින්දු කියන්න පටන්ගත්ත. බීල සින්දු කියන එකටත් මගෙ කොහෙත්ම අකමැත්තක් නෑ. ඕක මගෙත් පුරුද්දක්. බීල පොඩි සින්දුවක් කිව්වෙ නැත්තන් ගතියක් නෑ. ඒත් ඉතිං මේක බස් එකක්නෙ. යන එන අනිත් මිනිස්සුන්ටත් කරදරයක්. ඒ උනාට මං මොකවත් කියන්න ගියේ නෑ. මමත් මගියෙක් වගේ නෙ. අනික මොකටද ඉල්ලං කන්නෙ.
ඔන්න ඔය අතරෙ සමීර අයිය හඬ අවදි කලා.
" අයියෙ.. සින්දු කියන්ඩ එපා.. මේක බස් එකක්. ඔයාල විතරක් නෙවෙයි තව මිනිස්සු මේකෙ යනවනෙ "
මූ නිකං හාල්මැස්සෙක් වගේ කෙට්ටුයි. ඒ උනාට දුන්නෙ පදිරි ටෝක් එකක්. (නොකිව්වට මාත් හාල්මැසෙකුට හපං)
දැං ඉතිං බීපු සෙට් එකෙන් ප්‍රතිචාර ලැබෙනව වැල නොකැඩී.
" අපිට ඕන තැනක අපි සින්දු කියනව, ඇයි නවත්තන්ඩද? "
" මල්ලී....අපිත් හැමදාම යන්නෙ එන්නෙ මේ පාරෙං තමා..හරීද.... "
මේ වගේ දරුණු කමෙන්ට්ස් ලැබෙනව.
හදිස්සියෙ මැද හරියෙ හිටපු පුද්ගලයෙක් නැගිට්ටා.
බාහිර පෙනුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් වගේ.
" අයියෙ...කෑව බිව්ව නං අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන්ඩ හැසිරෙන්ඩ බලන්ඩ. මේක ගෙදර නෙවෙයි නෙ සිංදු කියන්ඩ "
ඒ ටෝක් එකෙන් නම් කට්ටිය පොඩ්ඩක් ඇඹරි. දැං මුළු බස් එකම පිටිපස්ස බලාගෙන. එක්කෙනයි ඉස්සරහ බලන් ඉන්නෙ. ඒ ඩ්‍රයිවර්.
බස් එක ටිකදුරක් ගියා. බීපු සෙට් එකෙන් සද්දයක් නෑ. සමීර අයියත් පිටිපස්සෙ දොර ළඟටම ඇවිල්ල ඉන්නව. දැන් තත්වය සාමාන්‍යයි. බාහිර පෙනුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් වගේ කියපු පුද්ගලයත් බැහැල ගියා.
ඔන්න මත්පැන් බීල හිටපු කස්ටිය බහින තැනත් ළං උනා. මං ෆුට් බෝඩ් එකේ මැද, සමීර අයිය උඩම පඩියෙ. බස් එක හෝල්ට් එකේ නැවැත්තුව. බීපු හතර දෙනාගෙන් එකා එකා බැහැල යනව. බහින ගමන් පොඩි පොඩි සද්දත් දානව.
" අපි ආයෙ දවසක හම්බවෙමු හරීද...."
" උඹ යන්නෙ එන්නෙ මේ පාරෙන් නෙ බලාගමු. "
දැන් නම් සමීරයටත් මල පැනල. මූත් අනං මනං කියනව.
මේ අතරෙ බිමට බැහැල හිටපු එකෙක් ෆුට් බෝඩ් එකේ පඩියක් උඩට නැගල සමීර අයියට පාරක් ගහන්න හැදුව. මොනව උනත් එකට ඉන්න යාළුව වුන එකේ ඒ ගහපු පාර වදින්න දෙන්න බැරිකමට මං මැදට අත දැම්ම. අත දාපු නිසා ඌ ගහපු පාර සමීර අයියට නොවැදුනත් මගෙ වැලමිටේ හයියෙන් වැදුන. වැදුන වැදිල්ලට බුවාට සෑහෙන්න රිදෙන්න ඇති. මං ඉතිං ඇටකෝටු ගොඩක් නෙ.
මුගෙ වෛරෙ තිබ්බෙ සමීරයත් එක්ක උනාට මූ මාව ඇදල ගත්තෙ නැද්ද ෆුට් බෝඩ් එකෙන් බිමට. හපොයි, මූ මට ගහන්නයි හදන්නෙ. ගුටි කාල ගියත් මේ හංදියෙ නම් ගහගන්න බෑ. මේ හරියෙ ඉන්න උං පිට කහන්නෙත් මාළු පිහි වලින්. ඒ හින්ද සදාකාලික අබ්බගාත වෙනවට වැඩිය විනාඩි දෙක තුනක් ගුටිකන එක සැපයි.
" ඇයි යකෝ මට ගහන්නෙ ". අඩු තරමෙ එහෙම අහන්නවත් මූ මට වෙලාවක් දුන්නෙ නෑ. අහල තියනව නෙ ගහකින් පොල් කඩද්දි තප්පර පහ හයක් ඇතුලත පොල් ගෙඩි දහයක් දොළහක් එකපිට වැටෙන සද්දෙ. ඔය සද්දෙන් තමයි පූජාව හම්බුනෙ. කාටවත් වැඩිය පේන්නෙ නෑ. හවස 7:30 ට විතර නිසා. ඒ අස්සෙ සමීර අයිය කෑගහනව,
" මධුරංගයා...ගහන්ඩ එපා වරෙං වරෙං බං "
ඌට මඤ්ඤං. මං හෝ ගාල ගුටිකනව. ඌ හිතන්නෙ මං ගිහිල්ල බීපු හතරදෙනාටම ගහනව කියල.
කොහොම හරි සමීරයටත් සීන් එක මීටර් වෙලා. ඌ බිමට බහිනකොටම මට සලකමින් හිටපු බුවා මාව ඔලුවෙන් අල්ලල බිමට පාත් කලා. දැන් මං හොඳටම දන්නව හෙනගහන්නා හා සමාන පාරක් පිට මැදට වදින බව. ඒ පාර වැදුන ගමන් මාතෘභූමිය සිපගන්න මං සූදානම් වුනා. මේ වෙනකොට ඒතරම් අමාරුයි. ඒත් පුදුමෙ කියන්නෙ මූ ගැහුවෙ නෑ. එහෙට මෙහෙට දඟලනව. බලද්දි සමීර අයිය මොකක්ද එකකින් මූට ගහනව. මං හිතුවෙ බස් එකේ තියන යකඩ පොල්ලෙන් ගහනව ඇති කියල. අනේ නෑ....සමීරය ගහන්නෙ ටිකට් පොතෙන්. හරියට නිකං පහ වසරෙ පොඩි උන් කොපි පොත් වලින් ගහගන්නව වගේ.
කොහොම හරි බීපු උන් හතරදෙනාගෙ බාධක මැද්දෙන් අපි දෙන්න බස් එක ඇතුලට රිංග ගත්තෙ වටේ පිටේ උන් මෙතෙන්ට සෙට් උනොත් අපි දෙන්නට උඩ තියල නෙලන බව දන්න හින්දමයි. අපි නගිනවත් එක්කම බස් එක ඇද්දුව. වෙලාව හොඳයි. තව පොඩ්ඩෙන් මළගෙවල් දෙකයි.
ඒ වෙනකල් එකෙක් බස් එකෙන් බිමට බැස්සෙ නෑ. මමත් ඉතින් කැමැත්තෙන් නෙවෙයිනෙ බැස්සෙ. බලෙන් නෙ මාව ඇදල ගත්තෙ. දැන් තමයි හොඳම හරිය. මෙච්චර වෙලා බස් එකේ හිටපු උන්ට නින්ද ගිහිල්ලද කොහෙද ඉඳල තියෙන්නෙ. ඔන්න එක එකා අහනව. එකෙක් ගහපු උන් කව්ද අහනව. තව එකෙක් රිටන් එක දෙන විදිහ කියනව. ඔය අතරෙ රිදෙනවද කියලත් සමහර උන් අහනව. මීට වැඩිය හොඳයි අතන ඉඳල තව ටිකක් ගුටි කෑවනං. මුං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ගිහින් කට රිද්දගන්නවට වැඩිය නිකං ඉන්න එක හොඳයි කියල හිතුන හින්ද හිත ඇතුලෙන් හැම එකාටම ජාතිය අමතල මං නිහඬ උනා.
සමීරයටත් මාර අවුල. ඌට හම්බුන ටොපියක්නෙ මට කන්න උනෙ. ෂර්ට් එකේ බොත්තම් දෙකයි ඉතුරු. මූණෙ සමහර තැන් ඉදිමිල. ඒ පිටින් පේන ටිකනෙ. ගල් රෝලෙකට යට උනා වගේ මුළු ඇඟම රිදෙනව. ඌ කියනව ගිහිල්ල සෙට් එකත් එක්ක ඇවිල්ල පෝරියල් එකක් දෙමුලු. අපෝ මට බෑ. දෙන දෙයක් උඹම දීගනිං. මේ දුන්න හරිය මදැයි.
ගෙවල් කිට්ටු උන හින්ද මං බැස්ස. දැං ගෙදරටත් බොරුවක් කියන්න එපැයි. බස් එකෙන් බහිද්දි ෂර්ට් එක දොරේ පැටලිල බොත්තම් කැඩුන. ඒක හොඳ සාධාරණ හේතුවක් සහිත බොරුවක්.
කොහොමත් සතියක් විතර යනකං ඇඟේ අමාරුව නම් නොඅඩුව තිබුන. ටික දවසක් යන්න ඇරල ඇඟේපතේ අමාරුව යන්නත් එක්ක දැල් කඩෙන් බෙහෙත් ගත්ත.
ඔන්න ඔහොමයි සිංදු කියන්න එපා කියල ඉල්ලං කෑවෙ. එපා කිව්වෙ වෙනිං එකෙක්, කෑවෙ මං. ඒ ආදර්ශය හිතට අරං කවදාවත් සිංදුවක් යන රේඩියෝ එකක් වත් මං ඕෆ් කරන්න යන්නෙ නෑ. අදටත් සමීර අයිය හම්බුනාම පුරුද්දට වගේ අහනව " ආයෙ කාටවත් සිංදු කියන්න එපා කිව්වෙ නැද්ද බං " කියල.
ප/ලි : නම් ගම් මනඃකල්පිත නැත.