වැඩි සද්ද බද්ද නැති එකා උනාට ඉඳල ඉඳල කෙරුවොත් කරන්නෙ කාලාන්තරයක් මතක හිටින අන්දොස් වැඩක්. වෙන කවුරුවත් නෙවෙයි මං.
මේකත් ඒ වගේ සීන් එකක්. ඉස්සර මං පට්ට මත්ද්‍රව්‍ය විරෝධියා. එකෙන්ම අමද්‍යප. ඒ ඉතිං ඕලෙවල් කාලෙ අන්තිම හරිය වෙනකං විතරයි. එතනින් එහාට සියල්ල මද පමණට. දුම නං දුම. අඩිය නං අඩිය. වෙන ඒව නං එහෙම.
කලින් ලිපියකින් කියල තිබුනනෙ මං ඒලෙවල් වලට මොනවද කලේ කියල. ආර්ට් නෙ කලේ. ඒ කාලෙ ඉතිං ඉස්කෝලෙ යන්නෙ ඉගෙන ගන්නම විතරක් නෙවෙයි නෙ. ගෙදරින් ගෙනියන බත් එක යාළුවොත් එක්ක පොරකාගෙන එහෙන් මෙහෙන් රිංගල කන්න, පන්තියෙ මුල්ලෙම තියන ඩෙස්ක් එක ළඟ වටවෙලා මියුසිකල් ෂෝ එකක් තියන්න, පන්තියෙ ඉගැන්නුවත් නැතත් එලියට පැනල ඇවිදින්න, කැන්ටින් එකට මූල්‍ය ආධාර දෙන්න, ඔය සේරම අතරෙ දවසටම තප්පර කීපයක් විතරක් හරි දැකගන්න පෙරුම් පුරන ඇස් දෙකක් බලාගන්නත් අමතක කරන්නෙ නෑමයි.
ඔහොම ඉන්න අපිට මුළු දවසම ෆ්‍රී වෙන දවසක් සෙට් වෙන්නෙ බොහොම කලාතුරකින්. එහෙනම් ඉතිං ස්පෝර්ට් මීට් වෙන්න ඕන. නැත්නම් මොකක් හරි ඩේ එකක්. ප්‍රිෆෙක්ට් ඩේ, කොමස් ඩේ, ආර්ට් ඩේ. ඕව තමයි.
ඒලෙවල් දෙවනි අවුරුද්ද ගෙවෙන අතරෙ ඔන්න ආව සයන්ස් ඩේ එක. අපි ඉතිං සයන්ස් නෙවෙයි නෙ. ඒ උනාට එදාට අපිට ෆ්‍රී. මොකද ගුරුවරු ගොඩක් අය යනවනෙ ඕක බලන්න.
දැන් ඉතිං අපේ සෙට් එක කතා වෙනව එදාට මොකද කරන්නෙ කියල. සෙට් එක කිව්වට පහයි, හයයි ඉන්නෙ. තඩියා, වැලයා, චව්, වටයා, මලා, අග හිඟ. ඔන්න සෙට් එක. තඩියා කියන්නෙ ඌ මහත නිසා. වැලයා කියන්නෙ ඌ වැල සයිඩ් එකට බර නිසා. චව් තමයි ජෝකර්. වටයා කියන්නෙ උගෙ වාසගමේ කෑල්ලක්. මූඩ් එක අහිංසක හින්ද මලා. අග හිඟ කියන්නෙ මුස්ලිම් එකාට. දන්නෝ දනිති.
දැන් කට්ටියගෙ ප්ලෑන්ස් ඉදිරිපත් කරනව සයන්ස් ඩේ එකට මොකද කරන්නෙ කියල.
බොමුද මචං ? ...
ඒක හරියන්නෑ බං. ගඳ එනව නෙ. අනිවා නෝන්ඩි වෙනව. ....
එහෙනං සෙට් වෙලා එදාට ට්‍රිපක් යමං.....
ඒකටත් බහුතරය අකමැතියි. මොකද අපේ උන්ට මෙලෝ වැඩක් නැතුව ඉස්කෝලෙ එන්න එපා කිව්වත් උන් එන එක නවත්තන්න බෑ. නොදැක ඉන්න බැරි ස්ත්‍රීරත්න ඉන්නව නෙ පහල පන්ති වල. ඒ හින්ද ට්‍රිප යන යෝජනාවත් නිශ්ප්‍රභයි.
කමුද ගුලි ?....
කාගෙ උනත් පදිරි අයිඩියාව. කොහොමත් ඉතිං ඕකෙන් දෙකක් කෑවාම ආයෙ ගන්න දෙයක් නෑ, පදිරිම තමයි. යෝජනාව වැඩි ඡන්දයෙන් ස්ථීරයි.
ඔන්න සයන්ස් ඩේ එක තියන දවසත් ආව. බඩු ගේන්න පොරොන්දු උනෙ වටයා. කස්ටිය වෙනදට වැඩිය කලින්ම ඉස්කෝලෙට ඇවිල්ල. ගුලි ගේන්න භාර දුන්න එකා තමයි පරක්කු. මෙන්න කියනකොටම එනව දිලිසි දිලිසි. මූ මේ ටික පැක් කරගෙන ඇවිත් තියෙන්නෙ හරියට මුතු මැණික් ගේනව වගේ. කිසිම දේකට නැති තරම් සමගියකින් කට්ටිය එකින් එක වාශ්ප කරල දැම්ම. හරියට නිකන් දිව්‍ය භෝජන වලඳනව වගේ. මං දෙක හමාරයි. තඩියා දෙක හමාරයි. අනිත් උනුත් ඒ හා සමානව හෝ ඊට මදක් අඩුවෙන්.
පැයක් විතර ගියා. නෑ කිසිම ගතියක්.
යකෝ දෙක හමාරක් කාලත් මෙලෝ රහක් නෑ. තෝ ගෙනාවෙ පරණ වෙච්චද බූරුවො.
කට්ටියම එකතුවෙලා ගුලි ගෙනාපු එකාගෙ පලු යවනව. දැං ඉතිං මොනව කරන්නද. යමං කැන්ටිම පැත්තෙ ප්ලේන්ටියක් වත් ගහන්න. කට්ටියම කැන්ටිම බලා පිටත් උනා.
ඇන්ටි ප්ලේන්ටි පහක් දාන්ඩෝ.
අපේ ඕඩරය කැන්ටිමේ ඇන්ටිටයි.
සීනි නං ටිකක් වැඩිපුර දැම්මත් කමක් නෑ. අපිට සීනි නෑ.
වැඩි සීනි දාන්න කියල විහිළුවෙන්ම කිව්වෙ කෙලින්ම වැඩි සීනි ප්ලේන්ටි ඉල්ලුවොත් සීන් එක නෝන්ඩි වෙන හින්දමයි.
ෂිහ්. ප්ලේන්ටිය නම් කියල වැඩක් නෑ. මං හිතන්නෙ ප්ලේන්ටි නෙවෙයි. මී පැණි. බීල වතුරෙන් කට හේදුවෙ නැත්තම් ෂුවර් විනාඩි පහෙන් කතාකරන්න බැරි වෙනව කට ඇලවිල. ඒ තරමට සීනි.
දැන් නම් මොකක්දෝ අමුත්තක් දැනීගෙන එනව. කට්ටියගෙ මූණු ඇද වෙලා. සමහර උන්ගෙ මූණෙන් භාගයක් සයිස් එකටම ඇස් ලොකු වෙලා. ඔන්න ටිකෙන් ටික පෘතුවියේ ගුරුත්වාකර්ෂණය අඩුවෙමින් චන්ද්‍රයාට සමාන ගුරුත්වාකර්ෂණයකට ළඟාවෙන බව අපි කාටත් ඒත්තු ගැන්වෙමින් තිබුනා.
යමුද බං සයන්ස් ඩේ එක බලන්න මේන් හෝල් එකට ?...
අළුත් යෝජනාවක්.
වරප්‍රසාදලත් පන්තියේ සයන්ස් ඩේ එක නැරඹීම, පීඩිත පන්තියේ ආර්ට් ශිෂයින්ට තහනම් වෙලයි තිබුනෙ.
දැන් ඉතිං ප්‍රභාකරන්ව හොයන්න යමං කිව්වත් අපේ එවුන් නෙමෙයි බෑ කියන්නෙ. ඒ තරම් ගටක් හිතේ තියනව.
යමං....
ඇවිදින්න ගත්තාම තමයි ගුලියෙ පවර් එක මීටර් උනේ. සමහර උන් තනි කෙලින් ඇවිදින්න ට්‍රයි කරනව. තව එකෙක් ගස් වලට, පන්ති කාමර වලට මුවා වෙවී එනව නිකන් ආමි මිෂන් එකක් වගේ. ඒ උනාට ගුරුවරයෙක් පැත්ත පලාතක නෑ. පඩිපෙල් වලින් බහිනව නෙවෙයි, පියාඹනව. ඔන්න ඔය වගේ දුෂ්කර ගමනකින් පස්සෙ අපි සෙට් එක මේන් හෝල් එකට ළඟා උනා. මොන කරුමෙකටද දන්නෙ නෑ කාලය ගමන් කරන්නෙ හරිම හිමින්. පේන දුරින් තියන මේන් හෝල් එකට එන්න අපිට පැයක් විතර ගියා වගෙයි දැනුනෙ.
ආවට මොකද ආරාධිත ලීලාවෙන් ඇතුලට යන්න අවසර නෑ නෙ. ඉතිං හොයනව හොර පාරවල්. මේන් හෝල් එක කිව්වට මේක තවම හදල නිමකරල නෑ. තට්ටු දෙකට ගහල, බිමට සිමෙන්ති දාල, තිබුනට හරියට ආවරණය කරල නෑ. ඉතින් ස්ටේජ් එක ලඟින්ම ඊට සමාන්තරව දකුණු පැත්තෙන් තියනව පොඩි කාමරයක්. හරියටම කිව්වොත් මේක තමයි ස්ටේජ් එකට යන අයට රැඳී ඉන්න හදල තිබුන කාමරය. තවම වැඩ නිමවෙලා නැති හින්ද මේක පාවිච්චි කලේ නෑ. එතෙන්ට ගියොත් ස්ටේජ් එකේ සිද්ධවෙන දේවල් හොඳට බලාගන්න පුලුවන්. මොකද ඒ කාමරෙයි ස්ටේජ් එකයි එකට යාවෙලා තිබුනෙ. තවම දොරවල් දාල නැති නිසා.
ඔන්න අමාරුවෙන් රිංගගත්ත ඕක ඇතුලට. හපොයි. හොරෙන් සයන්ස් ඩේ එක බලන උන්ගෙන් කාමරේ පිරිල. ඔක්කොම විසි පහක්, තිහක් විතර. ආර්ට් කොමස් විතරක් නම් කමක් නෑ. යකෝ සයන්ස් එකේ උනුත් මෙතන ඉන්නව නෙ. නීත්‍යානුකූලව බලනවට වඩා අනවසරයෙන් බැලුවාමනෙ වින්දනීය ගතිය වැඩි.
මේ කාමරේ පාවිච්චියට ගන්නෙ පිට්ටනියෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන උන් ඇඳුම් මාරු කරන්න, උන්ගෙ බඩු බාහිරාදිය තියන්න වගේ දේවල් වලට. කොටින්ම මේක පොඩි ගබඩා කාමරයක් වගේ. විකට් පොලු, නෙට්, ලෑලි කෑලි, යකඩ බට වගේ දේවලුත් තියනව.
විසි පහක්, තිහක් හිටියට මොකද මට පේන්නෙ නිකන් සීයක් විතර ඉන්නව වගේ. මාත් එක්ක ආපු උන් හොයාගන්නත් බෑ. උන් හිටි හැටියෙ මතු වෙනව. ආයෙත් නැතුව යනව. ගුලිය හින්ද වෙන්න ඇති.
ලොකු සෙට් එකක් හිටියට මොකද එකෙක් වත් මීක් කියන්නෙ නෑ. පොඩි සද්දයක් හරි ආවොත් ඇවිත් ඉන්න ආරාධිතයින්ටයි, ගුරුභවතුන්ටයි සේරටම ඇහෙනව. එහෙම උනොත් අම්බානක පූජාව තමයි. ඒ හින්ද එකෙක්ට කිබුහුමක් යන්න ආවත් නහය මිරිකල කට පොඩිකරල අමාරුවෙන් නවත්තගන්නව මිසක් අල්පෙනිත්තක් වැටෙන සද්දයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙ නෑ.
ගුලියෙ පවර් එකටද කොහෙද මෙතන සිද්ධවෙන මෙලෝ දෙයක් මට තේරුම් ගන්න බෑ. සමහර උන් මාත් එක්ක හිනාවෙනව. මට උන්ව දැකල පුරුද්දකුත් නෑ. කතා කරනකොට කියනව හිමින් කතාකරපං කියල.ඇයි යකෝ මං හයියෙන් කතා කරනවද? කිසිම සද්දයක් නෑ කිව්වට මට මහා ඝෝෂාවල් ගොඩක් එක දිගට ඇහෙනව.
මේ අන්ද මන්ද ගතිය යන්නත් එක්ක මං අඩි දෙක තුනක් ඉස්සරහට ඇවිද්ද. මෙන්න යකෝ කාමරේ හිටපු උන් කඩිගුල වගේ එකපාරම ඇවිස්සුනා. සමහර එවුන් හිස් ලූ ලූ අත දුවනව. හරියට නිකං ගාමණී ෆිල්ම් එකේ ගමට කොටි පැනපුවාම ගමේ උන් හතර අතේ දිව්වෙ. අන්න ඒ වගේ. එකෙක් ජනේලෙකින් පනිනව. එකෙක් අනිත් උන්වත් පෙරලන් දුවන්න හදනව. තව එකෙක් මට බැන බැන දුවනව.
මොකක්ද යකෝ තෝ කලේ. පිස්සුද තොට.....
ඇයි යකෝ මොනව කලාටද අහිංසක මට බනින්නෙ. මේ සේරම උනේ තප්පර දහයක් විතර ඇතුලත. මොකද මේ උනේ කියල හිතාගන්න බැරිඋන මං තව එක අඩියක් ඉස්සරහට තිබ්බ මොකද වෙන්නෙ බලන්න. එතකොටනං මටත් ටිකක් ධාරාණිපාත සද්දයක් ඇහුන. ඒත් එක්කම මං බැලුවෙ මොකක් උඩද මං ඉන්නෙ කියල.
මලා....
මං මේ අඩි හතරක් පහක් ඇවිදල තියෙන්නෙ බිම දාල තිබුන ටකරමක් උඩ. ගුලියෙ පවර් එකට මට සද්දෙ ඇහෙන්න ගත්තෙ ටිකක් පමා වෙලා. ඒ ඇවිදපු සද්දෙ මුළු මේන් හෝල් එකටම ඇහිල. ඇහෙන්නෙ නැද්ද ඉතිං සපත්තුත් දාගෙන පහළ දාල තියනව වගේ ටකරමක් උඩ ඇවිදිනකොට.
අදටත් අපේ සෙට් එක එකතු උනාම ගුලි කාල ටකරං උඩ ඇවිදපු සීන් එක මතක් කරල හිනාවෙනව.